Tuesday, July 1, 2014

අන්ත ජාතිවාදි, ආගම් වාදී ස්ථානයක සිට සත්‍ය දැකීමට වැර ගනිමින්.

මා අන්‍යයන් ගැන කිසිවක් නොකියමි. සියල්ලටම මා මාම උපමා කර ගනිමි. මා සිංහල බෞද්ධය. එය මට මහත් ආඩම්බරයකි. විදේශයක ජීවත් වුවත් කෙනෙක් මට වෙනත් ආගමක අත් පත්‍රිකාවක් දෙන්න තැත් කරන විටදීත් මා කියන්නෙ මම බෞද්ධ මට එපා. අපරාධයක් මම මේක කුණු කූඩෙට දාන නිසා කියාය. බලෙන් හෝ ඇඟේ ගැසුවොත් ඊට නුදුරෙම ඇති කසල බදුනට එය දමමි. ( සමහර විට එය ඔවුන් ඉදිරිපිටම තිබෙන්නට හැක. ) ඒ මගේ හැටිය. නොදන්නා උන් අන්න අරකිගෙ ලොකු කම යැයි කියයි. එහෙත් මා කිසිම විටක වෙනත් ආගමක මට අනවශ්‍ය දෙයක් කියවන්නට යන්නේ නැත. එය මගේ ප්‍රතිපත්තියයි.

පරම අවිහිංසාවාදය සිදුකළ නිගන්ඨනාථපුත්තයන්ගේ වදනටද ඇහුම් කන් දුන් අප බුදුන් වහන්සේ සංඝයා වෙනුවෙන් වස් කාලයක් ප්‍රකාශයට පත් කලේ එය ගරු කිරිමටය. දෙව්රම අසර ඌරන මරණ්නෙකු සිටියත් බුදුන් කිසිවක් කිසි දිනක නොකිවුවේය. අදට වඩා එදා විවිධ ආගම් තිබුණ යුගයක බුදුන් වහන්සේ පහළ විය. එහෙත් කිසිවෙකුට හානියක් නොකර උන් වහන්සේ ධර්ම ප්‍රචාරය කරගෙන ගියහ. දැන් මං මෙය කියනවිට යමෙක් කියයි දැන් එහෙම දහම් ප්‍රචාරය කරන්න බැහැ. එහෙම නිහඩව ඉන්න බැහැ කියල. ඒත් මම ඔබට කියමි හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා සේම සෑම හේතුවක් නිසාම එයින් යහපත් සහ අයහපත් දේ සිද්ද වන්නේය.

එදා අනගාරික ධර්මපාලතුමා සිංහලයිනි අවදිවව් රට ජාතිය බේරගනිව් කිවුවාය. එහෙත් උන් වහන්සේ කවදාවත් කැති පොරෝ ගනිව්..අනෙකා මරපියව් කොටපියව් කිවුවේ නැත. පානදුරා වාද වැනි දේ වලදි ගුණානන්ද හිමියන් වැනි උතුමන් චතුර ධර්ම කතිකත්වයෙන් සැබෑ දහම් කරුණෙන් මිසිදුටුවන් ජය ගත්තා මිස අනෙකාට හිරිහැර කරමින් ගියේ නැති. ( දැන් යමෙක් කියයි ආයෙමත් ඔය බම්බුව තියා ගනින් උඹ ගාවම කියා. එහෙත් සැබෑව නම් ලේ වැගිරිමකින් දිනු දෙයක් නැත. සහෝදරවරුන් 99 ක් මරා කාලිංඝ යුද්ධය කළ චණ්ඩාශොකයන්ද නිවී සැනසුනේ බුදු පුතෙක් දැකය. ඒ එතරම් නිවුනු දහමක් නිසා මෙන්ම නුවණැසින් දිනනා බැවින්ය. )

දර්ගා නගරය යනු මට දුර නගරයක් නොව. මා යෞවන සමාජ කරන කාලයේ දර්ගා නගරයේ මුස්ලිම් තරුණ තරුණියක් සමඟ ගැවසී ඇත. එවැනි ගෙවල් වලට ගොස් කා බී ඇත. ඔවුන්ද එසේය. අපි භක්ති ගී ගයයි. නොයෙක් දේ කරයි. ඉන් පසු මුස්ලිම් අය සමඟ මා ගැවසුනේ යොවුන් සේනාංකයේදිය. එයින් මුලතිව්වල නෂිමා අදත් මට මතකයට නැගෙයි. උඩ යට නිදා ගැනීමට ඇති අදන්වල ඇය මගෙ යට තිට්ටුවේ ඇදේය. රාත්‍රි විදුලි පහන් නිවු විට අප දෙදෙනාට පමණක් ඇසෙන්නට අප දෙදෙනා කතා කරගනියි. මට අමතක වු දේ ඇ කරයි. මටත් සමඟ නිතරම උදෑසන කිරි එක ගෙනෙයි. එදා යොවුන් සේනාංකයේදී ඩ්‍රිල් කරද්දී පර්දාව ගලවන්නට බෑ කියා ඇය දුක කියුවේ මටය. ඇගේ දහම අනුව ඈ නිවැරදිය. මට ඇයට පිඩාවක් කරන්නට බැරිය. එදා දුක සැප බෙදාගත් මුස්ලිම් අය මෙන්ම වසර දහතුනක් පාසලේ හැමදාම පන්තියේ එකම පේලියේ මගේ එක මිතුරියක් දෙමළය. ඈ මා සහ අනෙකා අතර කිසිදු විරසකයක් කවදාවත් නැත. අහම්බෙන් ඇය යලිත් මට මේ මුහුණු පොතේදිම හමුවිය.

මෙලොව ලේ වැගිරිමකින් දිනු දෙයක් නැත. උපන් දා සිට කුරිරු යුද්ධයක සාපය විද ඇති මා සාමය ආ පසු තවමත් ඒ බිමේ හරියට ජිවත් වි නැත. එහෙත් මට සතුටුය. දැන් මගේ උන් ගැන පපුවේ බයක් නැත. වෙනදාට බෝම්බයක් බ්ලාස්ට් වෙලා කියා කණ වැකුණ ගමන් හතර අතට කෝල් කර කර මා මුලින්ම සොයන්නේ මගේ උන් සුවෙන්ද කියාය. අද ඒ බිය නැත. එහෙත්,

මට කියන්නට ඇත්තේ මෙයයි. කී බෝඩ් එක උඩ නැගගෙන අකුරු කොට කොටා වස විස පුරවමින් මිනිස් හිත දුෂණය කරන්න එපා. යම් දෙයක් සිද්ද වුනා නම් එයට වගකිව යුත්තේ සිංහල ඔබයි. ( දැන් ආයෙමක් මට බනින්න මේකිත් සිංහලුන්ටම බනිනවා කියා ) ඔබ සිතුවාද ඔබ ජාතිය බේරගනින් කියා කැ ගැසුවට ඔබ මොනවද ඔබේ ජාතියට කලේ.. මම නම් තාම කිසිවක් කරල නැහැ. ඔබ විවාහක නම් දරුවෙක් දෙන්නෙක් හදාගෙන සුවෙන් සිටියි. ඔබ විවාහ වෙන වයස පසු වි ඇත්නම් එහෙත් ඔබ ජාතිය බේර ගනියව් කියා අනුන්ට කැ ගසයි. ඔබ කැ ගසද්දි අනෙකා ඔබව පරදමින් ඉදිරියට යයි. ඔබ කැ ගසන දේට අනෙකා ක්‍රියාවෙන් පිලිතුරු දෙයි. අද සුළු ජාතිය කියා ඔවුන් මේ සියල්ලෙන්ම අනුකම්පාව ලබා පැන යයි. දිනයි. ඒ ඔවුන්ගේ ඉලක්කයට හඹා යන තෙක්ය. ඔබ හැමදාමත් පුටුවක් උඩට වී ජාතිය බේරගනිව්.. කපපියව් කොටපියව් කිය කියා හිදියි.

මුලින්ම ඔබේ යුතුකම් ඉෂ්ඨ කරන්න. ඔබේ පන්සල රැකගන්න. ඔබේ දරු පවුල ලොකු කරගන්න. අනෙකා වැල වගේ පෝලිමක් හදනවට ඉර්ෂ්‍යා නොකර ඔබත් ඔබේ ජාතියට ඔබේ යුතුතම කරන්න. එසේ නැතුව පිටරටල ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් ඇති දේශපාලකයින්ගේ අත කොළුවක් වී රුකඩ සංදර්ශන රඟන්නට එපා. අද ජිවන බර අමතක වී මිනිස්සුන්ට බෞද්ධ මුස්ලිම් දේ කා වැදි ඇත. දැන් දේශපාලුවන් ඔවුන්ගේ සියල්ල නිදහසේ කරගෙන යයි. රැවටිලා ඇත්තේ ඔබමය.

ඉතින් මෙය කියවා මට බනින්න. එහෙත් ඔබේ යුතුකම් ඉටු කර අනෙකාට අත දික් කරන්න.

ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි ඉතින් ඉතා උතුම්


හිතන්න..කියවන්න..තේරුම් ගන්න

ලෝකය ගැන සිතන්නට ගිය විට අප අතරමං වේ. ඊටත් එහා අතරමංවන්නේ සිත ගැන සිතන්නට ගිය විටය. එකම අරමුණක බැද තබාගන්නට බැරි චංචල සිත විදුලි වේගයද පරයා යයි. මනසේ ක්‍රියාකාරිත්වය මෙන්න මෙපමණයි කියා කියන්නට බැරි වන තරමට අප අසරණවන අවස්ථා ඇත. එහෙත් වචනයත්, කයත් සංවර කරගත් සීලයක් තුල පිහිටා භාවනාවෙන් සිත දියුණුකරගත් ප්‍රාඥයින් අදත් මේ මිහිපිට ඇත. එහෙත් ඔවුන් මම මෙන්න මේ අවස්ථාවේ සිටින්නේ යැයි කිසිදු දිනක පවසන්නේ නැත.

අපායක් නැති දිව්‍යෙලා්කයක් නැති කිය කියා විද්‍යාවත් ආගමත් ඇබැටක තරම්වත් නොදැන පාරම්බාන සමාජයක මේ පොත් හතර යලිත් මා සිතන්නට යොමු කලේය. 2011 වසරේ ලංකාවෙන් එන විට ගෙනාවත් දෙවන වතාවට හිතට ආයෙ ආයෙත් දැනෙන ලෙස කියවා හමාර කලේ අදය.

දැයේ පිනට හෝ පහල වුන බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමිපාණන් සමඟ සාඛච්ඡා කරමින් කෙරන පළමු කොටස හදවතට තදින්ම දැනුනේය. එකම දවසක් හෝ දෑසින් දැකගන්නට බැරි දුක වැඩිපුර රිදවුයේය. භාවනාව විලාසිතාවක් වී ඇති යුගයක භාවනාව ගැය හොධ ලිපි කිහිපයක් දෙවන කොටස පොතෙහි ඇතුළත්වේ. ඒ රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමින් වහන්සේ හා සඛච්ඡා කොට රචිත ඒවාය.

ප්‍රේතයින් , භූතයින් පිළි නොගන්නා අයට එය පිලිගන්නට සිදුවන්නේ බලන්ගොඩ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ ප්‍රෙයා්ගිකව එය කර පෙන්වා කරුණු ඉදිරිපත්කර ඇති ලිපි කියවද්දිය.

බුදුන් වහන්සේ අත්තක කොළ ටිකක් අතට කඩාගෙන මා දේශනා කළ ධර්මය මෙන්න මෙපණක් තරම්ය කියා ඇත. එසේ නම් උන්වහන්සේ වදාළ නැති ධර්මය අර අතෙහි ඇති කොළ ප්‍රමාණය හැර ලොව ඇති අන් සියල්ලමය. කෙසේ වෙතත් ජිවිතයට කියවා බොහෝ දේ තේරුම් ගන්නට වටිනා පොත් කිහිපයක් යැයි මම කියමි.

කවුරුන් කිවත්, පොතක තිබුණත් , පරම්පරාවෙන් ආවත් පිළිගන්න එපා යැයි බුදුන් වහන්සේ කාලාම සූතුයේදි දේශණා කළ වදාලහ. ඉදින් ඔබත් කියවා ඔබේ හිතින් තේරුම් ගෙන අවබෝධ කරගනිත්වායි පතමි.


බුදුන් මුළු ලොවටමය


"ලෝක විෂය අචින්ත්‍යය. සත්ව විෂය අචින්ත්‍යය. සිතා නිම කළ නොහැක. කෙළවරක් දැකිය නොහැක. "
" ලෝකයේ කෙළවරක්,අග සහ මුල් , කොන් ඇති දේ මෙන්ම අග,මුල,කොන, සෙවිිය නොහැකි දේවල්ද ඇත. "

මිනිසා ගේ සහ ලෝකයේ ආරම්භය සර්වඥතා ඥානයෙන් අවබෝධ කැර ගත් බුදුරජාණන් වහන්සේ එය මිනිසාට අවබෝධ කරන්නට දේශනා කරන්නට ගියා නම් උන්වහන්සේගේත් ශ්‍රාවකයින්ගේත් ආයුෂ ( එය අසා නිම කිරිමට ) ප්‍රමාණවත් නොවනු ඇත.

ඒ නිසා ලෝකයේ සහ සත්වයින්ගේ අන්තය සෙවිම න්ශ්ඵල දෙයක් බව දේශනා කොට නොසෙවිය යුතු දේ ලෙස හැඳින් වූ සේක.

තමන් සෙවිය යුතුය. සතර රියනක් තරම් වු තමන්ගේ පංචස්කන්දය ( රූප, වේදනා, සඤ්ඤා,සංඛාර,විඤ්ඤාණ හෙවත් නාම රූප ) පිළිබඳව සොයන්න.

උපුටා ගැනීම - අපට නොපෙනෙන ලෝකය ,

ප.ලි -

ඡායාරුපය මා විසින් ගත් එකක් බැවින් එයට මගේ නම යොදාගන්නා ලදි. එහි ලියා ඇති පාඪය පොතෙන් උපුටා ගත්තකි.
 
 

Thursday, July 19, 2012

බෙදාගන්නට බැරිව

විහාරෙට අගුළු දා
බුදුන් හිරකරලා
උනුනුන් යුධ වදියි
බෙදාගන්නට බැරිදා.....

Tuesday, April 17, 2012

...මේ ඡායාරූපය දැක්කහම මට හිතුන දේ....





හිරු දැකී හිනැහෙන
මලක් සේ...
බුදු රුවක් දැක
සැනසෙමි මමත්..
මල් පිපී ලොව
පරවෙලා යනසේ...
අස්තිරයි දුව දුවා
යනම සසරත්...

සෙත් පිරිත ළග
දැහැන් ගත හිත...
බුදු මගක යන්නට
කියයි නිතරම...
පින් පුරන් සසරක
ආවමුත් හිත..
නිති බැදුනෙ බැදුමක
රැදුන දුකකම...

මදාරා පරසතු නෙලන්නට
හිත හිතා..
දෙව්ලොවෙම ඉන්නට
හිතූ මෙදිනා..
මිගදායෙ ඇසතු සෙවනක
සිසිලස වගේ...
කොහේවත් ඇතිවද අසනෙමි
මෙමං හඩගා...

Tuesday, January 31, 2012

බුදු මගක යන පුතුට

පුන්‍යවන්ත සිතුවිලි පුත කරපින්නා
යන්න යන්නෙ ගිහිගෙය හැරදාලා
චන්ද්‍රමඩල යට සාවිය උණුවීලා
දෝරෙ ගලායයි මව්හද වැලපීලා...

මගක් කෙටිම කරගන්නට සංසාරේ
ඇවිද ආපු දුර නම් හරි වෙහෙසයිලු..
උගස් තියන් දරුපෙම හද ගැඹරේම
යන්න දෙන්න හිත හැදුවේ මේම...

උන්නු තැනම ලය මඩලේ පුත තාම
සින්න වෙලා දරුපෙම හිත බෝම
කුසල පමණි සංසාරේ යහ පලදීම
බැරිම වුනත් යන්න පුතේ ඔහොම...

දැදුරු කරන් සෙනෙහස් දිය හිල්වීලා
අස්ස මුල්ල කලතයි ඇස හද තෙරපා
පුතෙක් වෙලා බුදු මග යන සැනසීලා...
සාධු කියා මම ඉන්නම් පුත ඉවසාලා..

Sunday, January 8, 2012

මට යන්න හිතයි..

හද ගිමන් නිවන
මහන්සියට
නැවතුමක් සොයා
මට යන්න හිතෙයි
පා ගමනින්
ඇවිදින්.............
දෙව්රම් වෙහෙර පෙදෙසටා...............

ගිනි ගත් හිත දැක්කද...
පසිදුරො රජ වෙනවද...
මේ මෝහ  ද්වේෂ රාග....
යයි ඇවිලී....සංසාර ගමන් මග අහුරා.............

දන් පින් දෙන්න හිතක් නැතිමුත්
පන්සිල් රකිනට බැරිවෙයිදෝ....
මහන්සියයි කාංසියයි
හොදටම මා පෙළනවා....
යන්න යනවා මා ඇවිදන් පා ගමනින්.....
දෙවුරම තිබෙන පෙදෙසටා.....