Friday, July 22, 2016

සප්ත සංවේග විහරණ

දරුවන් නිසා දෙමාපියන් විඳින්නම අපහසු වේදනාවන් විඳින අවස්ථා 7 ක් ඇත. එ් සප්ත සංවේග විහරණ නම්,
01 වයෝවෘද්ද වූ අම්මා තාත්තා යාදින්නෙක් යාදින්නියක් කිරීමේදී ඇතිවන දුක
උදාහරණයක් අම්මා තාත්තා වයසට ගිහින් එයාලට අවශ්‍ය බෙහෙත් තෙල් ටිකක් හෝ මොනයම් හෝ දෙයක් ගන්න දරුවෙක් ගාවට ගිහින් වටේ කැරකිලා හරිම බයාදුවෙන් කියනව "පුතේ තෙල් කුප්පියත් හොදටම හිදිල . එන සතියෙ තාත්තට ක්ලිනික් එක්ක යන්නත් තිනව. අතේ සත පහක් නැහැ පුතේ කීයක් හරි ලැබුණොත් හොදයි" කියනව හරිම අසරණව.
එතකොට දරුවො බැනල එලවනව. කන්න අදින්න දෙන්නයි හැමදේම කරන්න සල්ලි කෝ. මට පව් නොදි යන්න අම්මා. ඕවගේ දේ කියල. අම්මා කාමරේට යනකොට තාත්තා අහනව මොකෝ පුතා කීයක්වත් දුන්නද කියල. එතකොට අම්මා කියන්නෙ දරුවට හරිම කරදරයි. අපි තව ටිකක් ඉවසමු. ඔයත් එක මාසයක් ක්ලිනික් නොගියට මැරෙන්නෑනෙ කියල. ඒත් ඒ අවස්ථාවෙදි අම්ම තාත්තගෙ හදවතේ ඇවිලෙන ගින්න කවදාවත් නිවෙන්නෙ නැහැ. අපි දරුවන්ට මොනවද නුදුන්නෙ කිය කියා හදවතින් ඇවිලෙනව.
02 අම්මා තාත්තා තමන්ගේම නිවස තුළ හිඟන්නෙක් හිඟන්නියක් වීම නිසා ඇතිවන දුක.
දෙමාපියො වයසට ගියහම ලෙඩවෙනව. නිතර නිතර සෙම ඇවිස්සිලා රෑ එලිවෙනකම් කැස්ස එහෙම හැදෙනව. තාත්තා කැස්ස නවත්තනකොට අම්ම පටන් ගන්නව. ඇගේම මළ මුත්‍රා යන්න පුලුවන්. සොටු ඇදුම් වල පිසදාගන්න වෙන අවස්ථා තිනව. මෙහෙම අවස්ථාවක දරුවො ඇවිත් මොකක්ද අම්මා මේ කරුමෙ. දරුවන්ටත් නිදාගන්න නැහැ. රෑ එළිවෙනකම් කහිනව. ඒ මදිවට විසබීජ. ඕවගේ නොයෙක් දේ කියල අර දෙමාපියන්ව ගේ පිටිපස්සෙ ගබඩා කාමරේකට හරි කොහාට හරි ගිහින් දානව. ඒ ගිහින් දාල ඔහේ ඉන්නව එන්න එපා ගේ පැත්ත පලාතෙ කියනව.
ඉතින් ඒ අවස්ථාවක අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ පපුවෙ ඇතිවෙන ගින්න කවදාවත් නිවන්න බැහැ. දෙමාපියන්ට ඒ වෙලාවට හිතෙනව උඹල ඔහොම නෙමෙයි ගෙවල් ජරා කලේ. මේ හොදල අනික් පැත්තට ජරා කලේ. රෑ එලිවෙනකම් කක්කා චූ ඇද්දෙ. සෝදට අතට ගත්ත ගමන් ඇග දිගේ කක්ක චු දැම්මෙ. එදා මම උඹව මේ කරුමෙ කරන්න බැහැ කියල ගේ පිටුපස්සෙ කාමරේකට දැම්මෙ නැහැ නේද කියල හිතල ඇතිවෙන ඒ ගින්න කවදාවත් නිවෙන්නෙ නැහැ.
03 එකගෙයි දරුවොයි අම්මලයි බත් හැළි දෙකක් උයන් කෑමේදී ඇතිවන දුක.
අද කොච්චර අපේ රටේ ගෙවල් ඇතුලෙ අම්මා තාත්තා දරුවො එකම ගෙයි ඉදගෙන බත් හැලි දෙක උයන් කනව ඇතිද ? අම්මලා බොහොම අමාරුවෙන් බතක් මැල්ලුමක් හදාගෙන කාමරේට යනකම් ඉදල දුවල බෑනල ලේලිලා කුස්සියට ඇවිත් උයන්න පටන් ගන්නව. අර බතක් මැල්ලුමක් එක්ක බත් කට කටට ගන්නකොට කුස්සියෙන් සුවඳ එනව එක එක කෑම ජාති බදිනවා, උයනවා නොයෙක් පුසුඹ. එතකොට අර බත් කට උගුරෙන් පහලට දාගන්න දෙමාපියන්නට බැහැ. ඒ වෙලාවට පිගාන අරන් ගිහින් මටත් ටිකක් දියන් කියල ඉල්ලතැහැකි. ඒත් ඒක ඊඉට පස්සෙ ගම පුරා කියමින් නොයෙක් අපවාද වචන කිය කියා දරුවොන්ගෙන්ව‍ෙ අතිවෙන ලැජ්ජාව මතක් වුනාම අම්මා තාත්තා නිස්සබ්දව අර උයාගත්ත බත මැල්ලුම ගිලල දානව. ඒත් ඒ වෙලාවට හිතෙනව උඹලට මොනවද නුදුන්නෙ. ඉල්ලන ඉල්ලන කෑම ජාතිය උයල හදල දුන්නා. රටේ හොදම කෑම ජාති පුලුවන් උපරිමයට දුන්නා කිය කියා දෙමාපියන්ගෙ හිතේ ඇවිලෙන ගින්න කවදාවත්ම නිවන්න බැහැ.
04 වයෝවෘද්ධ වූ මවට පියාට අලුත් ඥාතීන් හදුන්වා නොදීමේ දී ඇතිවන දුක.
ඒක මෙහෙමයි ගෙදර එක එක සද්ද සංගීත නැටුම් විතරක් නෙමෙයි අලුත් කෑම හැදෙන සුවද එහෙම එනව. මේ දෙමාපියො විමසිලමත් වෙනව මොකක්ද මේ කියල. ඔය අතරෙ තමන්ගෙ ගෙදර පිටිපස්සට දාපු දෙමාපියන්ට ගිහින් කියනව පුතා වැදගත් මිනිස්සු ටිකක් එනව එන්න එහෙම එපා ඉස්සරහට. මට පව් නොදි දෙන්න එක්ක මෙහෙට වෙලා ඉන්න කියල. ඇවිල්ලා මට ලැජ්ජ කලොත් බලාගන්න බැරියැ. ඔන්න නොකිවුවයි කියන්න එපා කියල තර්ජන පාරකුත් දාල යනව.
ඔය අතරෙ දැන් අර වයසක දෙමාපියන්ම හදපු ගෙදරට සාරි ඔසරි ඇදගෙන මිනිස්සු ඇවිත්. බැලින්නම් ලේලිගෙ අම්මා තාත්තා, බෑනගේ අම්ම තාත්තා වගේ අය. ඒක හොරෙන් බලල ඇවිත් දෙමාපියො කතාවෙනව. ඇත්ත තමයි වැදගත් මිනිස්සු අපි වගේද ? අර බලන්න එපැයි ඇවිත් ඉන්න විදිහ. අපි ඔන්න ඔහේ මෙහෙට වෙලාම ඉමු කියල. ඒත් ඒ අවස්ථාවෙදි දෙමාපියන්ගෙ හිත තුළ ඇතිවෙන ගින්න කවමදාවත් නිවන්න බැහැ කියල බුදුන් වහන්සේ දේශණා කරනව.
05 වයෝවෘද්ද වූ අම්ම තාත්තට දන් පින්කම් කරගන්න සහයෝගය නොදීම නිසා ඇතිවන දුක.
උදාහරණයක් විදිහට මෙහෙමයි
දරුවො ගෙදර නැතිවෙලාවක ගෙදරට එනව පන්සලේ දායක සභාවෙ අය. ඒ අය කියනව පන්සලේ පින්කමක් තිනව උපාසක අම්මලා අට පිරිකරක් බාරගන්න කියල. අට පිරිකරක් තියා බෙහෙත් තෙල් ටිකක්වත් ගන්න සල්ලි නැති දෙන්න දෙමහල්ලො මුහුණට මුහුණ බලාගන්නව. ඒත් මේව රටට කියන්න බැහැ. ඒ නිසා ආයෙ අහනව අට පිරිකරක් කියක් විතර වෙයිද කියල. ර්පියල් දාහක් විතර වෙයි කියනව. එතකොට මේ දෙන්න රුපියල් දාහක්. කියල නැවත උච්චාරණය කරල බාරගන්නත් බැහැ. බාර අරගෙන දෙන්න විදිහකුත් නැහැ. ඒත් බාර නොගෙනත් බැහැ. ඔහොම දෝලනය වෙලා ආ එහෙනම් එකක් ලියන්නකො කියනව.
දැන් හවස් වෙලා දරුවො ආවම බොහොම වටින් ගොඩින් බයාදුව විස්තරේ කියනව. මෙහෙම දායක සබාවෙන් ආව මෙහෙමයි මෙහෙමයි කියල. එතකොට එකපාරට දරුවො අහන්නෙ ආහ් බාර ගත්තද ? බාර ගත්තද ? කන්න අදින්න දෙනව මදිවට රටේ ඒවත් බාරගන්නවද ? ඔය විදිහට දරුවො බැනල යනව. අර අට පිරිකර අම්මාගෙ කනේ කරාබුව විකුණල හරි ගන්නව. ඒත් ඒ වෙලාවෙ අම්මගෙ තාත්තගෙ හිතේ ඇවිලෙන ගින්න කවදාවත්ම නිවන්න බැහැ.
06 වයෝවෘද්ද වූ අම්මා තාත්තා නිවසේ හුඳකලා කර යෑම නිසා ඇතිවන දුක.
ඒක මෙහෙමයි. ඔන්න පන්සලේ පින්කමක් තියෙනව. එදා දවසෙ අම්මයි තාත්තයි උදේ ඉදන් ඕකට යන්න ලැහැස්ති වෙනව. උදේ හය වෙද්දි අම්මා පරණ සුදු සාරිය අරන් ලැහැස්ති කරගන්නව. තාත්තා නැෂනල් එක අරන් ලැහැස්ති කරගන්නව. දවල් දොලහ වෙද්දි මල් එහෙම කඩාගන්නව. කළුවර වැටෙද්දි ගේට්ටුව ගාවට ගිහින් ඉවරයි ලැහැස්ති වෙලා. දරුවො එනකම් යන්න බැහැ. ඔන්න දරුවො ආව.
ආහ් කොහෙද මේ යන්නෙ.. පුතේ මේ අපි පන්සලේ පින්කමට යන්න කියල. දැන් යන්නෙ කොහොමද දෙන්න එක්ක. අපේ වාහනේ යන්න බැහැ. ඒකෙ වයිෆ් දරුවො ආවම හරි. මේ කළුවරේ ගිහින් එන්නෙ කොහොමද ? ඔයාලට ඔහොම හිතුණ තැන්වල ගිහින් මොනව හරි වුනාම අපිටම නේද කරදෙරේ. අනික අපි ඔක්කොම දැන් යනව. එතකොට ගෙදර බලාගන්නෙ කවුද. හොරු ඇවිත් මේව අතගාගෙන යයි. වත්තට ඌරෝ එයි. ඕවගේ එක එකේව කියද්දි අර දෙමාපියො හැරිල ආපහු එනව. එතකොට ඒ අවස්තාවෙදි දෙමාපියන්ගෙ පපුවෙ ඇවිලෙන ගින්න කවදාවත්ම නිවෙන්නෙ නැහැ.
07 වයෝවෘද්ද අම්මා තාත්තට දැන් මේ සලකන සැලකිල්ලට මිය ගිය වෙලාවකට දන් හැන්දක්වත් බෙදයිද කියා සිතී ඇතිවන ගින්න.
අද ගෙදර පිටිපස්සෙ කාමරේකට දාල තියන අම්මා තාත්තට හිතෙනව අපිට අද මෙහෙම නම් අපි මැරුණ දාකට මේ දරුවො අපි වෙනුවෙන් දන් හැන්දක්වත් බෙදයිද කියල. අන්න ඒ අවස්ථාවලදි දෙමාපියන්ගෙ හිතේ ඇවිලෙන ගින්න කවදාවත්ම නිවන්න බැහැ.
මේ තමයි අද දවසෙ මම බණ අහල ඉගෙන ගත්ත දහම් කරුණු ටික. මේ දේවල් මගේ අතින් නම් මගේ අම්මට සිද්ද වෙන්නෑ. ඒත් අද රටේ කොයිතරම් මේවගේ සිද්දි අහන්න ලැබෙනවද ? ඉතින් ඔබ ඔබේ ආදරණීය දෙමාපියන්ට මේ එක කරුණකින් හරි කටයුතු කරල තියෙනව නම් ඒක දිට්ඨ ධම්ම විපාකයක් විදිහට ඔබට විදවන්න ලැබෙනවාමයි. ඒ නිසා දහමෙහි හැසිරෙන්න. දහම විසින් ඔබව රකීවි.