Tuesday, July 1, 2014

පින්බර දිනයක් වේවා.

"අත්තානං චේ තථා කයිරා – යථ’ඤ්ඤමනුසාසති
සුදන්තෝ වත දම්මේථ – අත්තා හි කිර දුද්දමෝ

අනිත් උදවියට අනුශාසනා කරනවා වගේම තමාත් ඒ අනුශාසනාවට අනුකූලව ජීවිතය ගතකරන්ට ඕන. තමන් දමනය වෙලා තමයි අනුන්ව දමනය කරන්ට ඕනෙ. තමා දමනය කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.

(ජේතවනාරාමයේදී පධානිකතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴"

ඉතින් වැඩිපුරම අපි දකින්නෙ කී බෝඩ් එක පෙරල පෙරල බණ කියන බුකිගත සමාජයක්නෙ. හැබැයි ඒ බොහොම දෙනෙක් කියන තරම් බණ තම තමන්ට ආරෝපණය කරගෙන බලනවද කියල පේන්නෙ සැබෑ ජීවිත දැක්කම. කොහොම වුනත් බුදුන් සරණ ගිය අපිට පොසොන් පොහොය වැදගත්. ඒ සම්බුදු පියාණන් බුද්ධත්වය පත්වී සිව්වන සතිය ගත කරන සමයේ රුවන් ගෙයි වැඩ සිටිමින් සද්ධර්මය මෙනෙහ ිකරද්දී සවණක් ඝණ බුදුරැස් බුදු සිරුරින් පළමු වතාවට පිටවීමයි කියල අපි ශාසන ඉතිහාසයෙදි ඉගෙන ගෙන කියනව. දැන් ශාසන ඉතිහාසය මොකක්ද අහන්න එපා. දහම් පාසැලේ ධර්මාචාරයට , දහම් පාසැල් අවසාන විභාගයට මම ඉගෙන ගත්තා. එහෙම ඉගෙන ගත්තු අය දන්නව ඇති. ශාසන ඉතිහාසයෙ තිබුණ පලියට ඕව ඇත්තද කියල තරක කරන්න එපා මගෙත් එක්ක. මොකද මම මගේ දැක්මෙන් බුද්ධ දර්ශනය විශ්වාස කරනව ඇහ්.

ඉතින් ඊළගට තුන්වන ධර්ම සංගායනාවෙ ප්‍රථ්පලයක් විදිහට මිහිදු හිමි ඇතුළු පිරිස නැවත වරක් ලංකාවට බුදු දහම අරගෙන ආවෙ මේ කියන පොසොන් පොහොය දිනක කියලත් මං ඉගෙන ගෙන තියෙනව. ඒ බුද්ධ වර්ෂ 236 දි. වර්තමානෙ කෝකත් සැක කරල බලන උදවිය ඕව බොරු කියයි. ඒක එක එක පුද්ගලයගෙ දැකීම. මේ මං පිළිගන්න දේ. ඊට පෙර තෙවරක්ම බුදුන් වහන්සේ සිරිලකට වැඩියත් බුදු දහම ස්ථාපිත නොවෙන්න මොන මොනව හරි හේතු තියෙන්න ඇති.

බුදුන් ලංකාවට වැඩම කරල සුමන සමන් දෙවියන් වගේ දෙවි වරු සෝවාන් ථලයට පත් වුනත් ලක්දිව ප්‍රථම මහණ කිරිම සිද්ද වුනෙත් පොසොන් පොහොය දවසක කියල ශාසන ඉතිහාසයෙ තියෙනව. ඒ භණ්ඩුක උපාසකයව. මේවයේ හරි වැරදි කෙසේ වෙතත් මං කියන්නෙ මෙච්චරයි දැන් බස් වෑන පුරෝගෙන අතුරු සිඳුරු නැතිව අනුරාධපුරයට මිනිසුන් යනව ඇති මේ වෙද්දි. ඒ යන්නෙ හදවතේ සැබෑම පහන් හැගීමෙන් නම් එයයි වටින්නෙ. එහෙම නැතුව වැව් අයිනට වෙලා බයිට් හපමින් බෝතල් හිස් කරමින් බජව් දමමින් නිවාඩුව ගත කරන්න නම් ඔබ තව වරක් හිතන්න. ඔබව දකින තව කෙනෙක්ගෙ හදවතේ මොන වගේ හැගීමක් ඇතිවෙයිද කියල.

ඒ කොයි දේටත් වඩා මිහින්තලේ ගස් අතර දුව පනින රිලවු , දඩු ලේනුන්ගෙ සුන්දරත්වය මැද්දෙ ඔබ විවිධ දෑ දාගෙන යන පොලිතීන් මළු , ජලය ගෙනියන ප්ලාස්ටික් බෝතල් ඒ පරිසරය අවලස්සන කරයි කියල අනිවාර්යෙන්ම මතක තබාගන්න.

සොබා දහමෙ අසිරිය විඳින ගමන් ඇයට නොරිදවා එන්නට හදවතට කියාදෙන්න. අපෙන් පසු දරුවන්ටත් ඒ දේවල් දැක සතුටු සිත් උපදවාගන්නට ( ඕව ඉතින් විකුණල කාර් රේස් තියල , සී ප්ලෙන් බස්සල විනාශ කරනව කියන එක වෙනම කතාවක්.. ඒකට මේකට නොගැලපෙනවද මන්දා..ඒත් කමක් නැහැ. )

ඉතින් කාටත් මෙත් සිත් ඇති වෙන..පින්බර දිනයක් වේවා.
____________________________________
මේ පින්තුර එකතුවෙ තියෙන හැම පින්තූරයක්ම සයිබර් අවකාශයෙන් ලබාගත්ත දේවල් වැඩියෙන්ම තියෙන්නෙ. ඒත් මේ පින්තූරෙ මම ගත්තෙ ඇහ්. අනුරාධපුරයෙදි


No comments:

Post a Comment