Friday, July 22, 2016

සප්ත සංවේග විහරණ

දරුවන් නිසා දෙමාපියන් විඳින්නම අපහසු වේදනාවන් විඳින අවස්ථා 7 ක් ඇත. එ් සප්ත සංවේග විහරණ නම්,
01 වයෝවෘද්ද වූ අම්මා තාත්තා යාදින්නෙක් යාදින්නියක් කිරීමේදී ඇතිවන දුක
උදාහරණයක් අම්මා තාත්තා වයසට ගිහින් එයාලට අවශ්‍ය බෙහෙත් තෙල් ටිකක් හෝ මොනයම් හෝ දෙයක් ගන්න දරුවෙක් ගාවට ගිහින් වටේ කැරකිලා හරිම බයාදුවෙන් කියනව "පුතේ තෙල් කුප්පියත් හොදටම හිදිල . එන සතියෙ තාත්තට ක්ලිනික් එක්ක යන්නත් තිනව. අතේ සත පහක් නැහැ පුතේ කීයක් හරි ලැබුණොත් හොදයි" කියනව හරිම අසරණව.
එතකොට දරුවො බැනල එලවනව. කන්න අදින්න දෙන්නයි හැමදේම කරන්න සල්ලි කෝ. මට පව් නොදි යන්න අම්මා. ඕවගේ දේ කියල. අම්මා කාමරේට යනකොට තාත්තා අහනව මොකෝ පුතා කීයක්වත් දුන්නද කියල. එතකොට අම්මා කියන්නෙ දරුවට හරිම කරදරයි. අපි තව ටිකක් ඉවසමු. ඔයත් එක මාසයක් ක්ලිනික් නොගියට මැරෙන්නෑනෙ කියල. ඒත් ඒ අවස්ථාවෙදි අම්ම තාත්තගෙ හදවතේ ඇවිලෙන ගින්න කවදාවත් නිවෙන්නෙ නැහැ. අපි දරුවන්ට මොනවද නුදුන්නෙ කිය කියා හදවතින් ඇවිලෙනව.
02 අම්මා තාත්තා තමන්ගේම නිවස තුළ හිඟන්නෙක් හිඟන්නියක් වීම නිසා ඇතිවන දුක.
දෙමාපියො වයසට ගියහම ලෙඩවෙනව. නිතර නිතර සෙම ඇවිස්සිලා රෑ එලිවෙනකම් කැස්ස එහෙම හැදෙනව. තාත්තා කැස්ස නවත්තනකොට අම්ම පටන් ගන්නව. ඇගේම මළ මුත්‍රා යන්න පුලුවන්. සොටු ඇදුම් වල පිසදාගන්න වෙන අවස්ථා තිනව. මෙහෙම අවස්ථාවක දරුවො ඇවිත් මොකක්ද අම්මා මේ කරුමෙ. දරුවන්ටත් නිදාගන්න නැහැ. රෑ එළිවෙනකම් කහිනව. ඒ මදිවට විසබීජ. ඕවගේ නොයෙක් දේ කියල අර දෙමාපියන්ව ගේ පිටිපස්සෙ ගබඩා කාමරේකට හරි කොහාට හරි ගිහින් දානව. ඒ ගිහින් දාල ඔහේ ඉන්නව එන්න එපා ගේ පැත්ත පලාතෙ කියනව.
ඉතින් ඒ අවස්ථාවක අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ පපුවෙ ඇතිවෙන ගින්න කවදාවත් නිවන්න බැහැ. දෙමාපියන්ට ඒ වෙලාවට හිතෙනව උඹල ඔහොම නෙමෙයි ගෙවල් ජරා කලේ. මේ හොදල අනික් පැත්තට ජරා කලේ. රෑ එලිවෙනකම් කක්කා චූ ඇද්දෙ. සෝදට අතට ගත්ත ගමන් ඇග දිගේ කක්ක චු දැම්මෙ. එදා මම උඹව මේ කරුමෙ කරන්න බැහැ කියල ගේ පිටුපස්සෙ කාමරේකට දැම්මෙ නැහැ නේද කියල හිතල ඇතිවෙන ඒ ගින්න කවදාවත් නිවෙන්නෙ නැහැ.
03 එකගෙයි දරුවොයි අම්මලයි බත් හැළි දෙකක් උයන් කෑමේදී ඇතිවන දුක.
අද කොච්චර අපේ රටේ ගෙවල් ඇතුලෙ අම්මා තාත්තා දරුවො එකම ගෙයි ඉදගෙන බත් හැලි දෙක උයන් කනව ඇතිද ? අම්මලා බොහොම අමාරුවෙන් බතක් මැල්ලුමක් හදාගෙන කාමරේට යනකම් ඉදල දුවල බෑනල ලේලිලා කුස්සියට ඇවිත් උයන්න පටන් ගන්නව. අර බතක් මැල්ලුමක් එක්ක බත් කට කටට ගන්නකොට කුස්සියෙන් සුවඳ එනව එක එක කෑම ජාති බදිනවා, උයනවා නොයෙක් පුසුඹ. එතකොට අර බත් කට උගුරෙන් පහලට දාගන්න දෙමාපියන්නට බැහැ. ඒ වෙලාවට පිගාන අරන් ගිහින් මටත් ටිකක් දියන් කියල ඉල්ලතැහැකි. ඒත් ඒක ඊඉට පස්සෙ ගම පුරා කියමින් නොයෙක් අපවාද වචන කිය කියා දරුවොන්ගෙන්ව‍ෙ අතිවෙන ලැජ්ජාව මතක් වුනාම අම්මා තාත්තා නිස්සබ්දව අර උයාගත්ත බත මැල්ලුම ගිලල දානව. ඒත් ඒ වෙලාවට හිතෙනව උඹලට මොනවද නුදුන්නෙ. ඉල්ලන ඉල්ලන කෑම ජාතිය උයල හදල දුන්නා. රටේ හොදම කෑම ජාති පුලුවන් උපරිමයට දුන්නා කිය කියා දෙමාපියන්ගෙ හිතේ ඇවිලෙන ගින්න කවදාවත්ම නිවන්න බැහැ.
04 වයෝවෘද්ධ වූ මවට පියාට අලුත් ඥාතීන් හදුන්වා නොදීමේ දී ඇතිවන දුක.
ඒක මෙහෙමයි ගෙදර එක එක සද්ද සංගීත නැටුම් විතරක් නෙමෙයි අලුත් කෑම හැදෙන සුවද එහෙම එනව. මේ දෙමාපියො විමසිලමත් වෙනව මොකක්ද මේ කියල. ඔය අතරෙ තමන්ගෙ ගෙදර පිටිපස්සට දාපු දෙමාපියන්ට ගිහින් කියනව පුතා වැදගත් මිනිස්සු ටිකක් එනව එන්න එහෙම එපා ඉස්සරහට. මට පව් නොදි දෙන්න එක්ක මෙහෙට වෙලා ඉන්න කියල. ඇවිල්ලා මට ලැජ්ජ කලොත් බලාගන්න බැරියැ. ඔන්න නොකිවුවයි කියන්න එපා කියල තර්ජන පාරකුත් දාල යනව.
ඔය අතරෙ දැන් අර වයසක දෙමාපියන්ම හදපු ගෙදරට සාරි ඔසරි ඇදගෙන මිනිස්සු ඇවිත්. බැලින්නම් ලේලිගෙ අම්මා තාත්තා, බෑනගේ අම්ම තාත්තා වගේ අය. ඒක හොරෙන් බලල ඇවිත් දෙමාපියො කතාවෙනව. ඇත්ත තමයි වැදගත් මිනිස්සු අපි වගේද ? අර බලන්න එපැයි ඇවිත් ඉන්න විදිහ. අපි ඔන්න ඔහේ මෙහෙට වෙලාම ඉමු කියල. ඒත් ඒ අවස්ථාවෙදි දෙමාපියන්ගෙ හිත තුළ ඇතිවෙන ගින්න කවමදාවත් නිවන්න බැහැ කියල බුදුන් වහන්සේ දේශණා කරනව.
05 වයෝවෘද්ද වූ අම්ම තාත්තට දන් පින්කම් කරගන්න සහයෝගය නොදීම නිසා ඇතිවන දුක.
උදාහරණයක් විදිහට මෙහෙමයි
දරුවො ගෙදර නැතිවෙලාවක ගෙදරට එනව පන්සලේ දායක සභාවෙ අය. ඒ අය කියනව පන්සලේ පින්කමක් තිනව උපාසක අම්මලා අට පිරිකරක් බාරගන්න කියල. අට පිරිකරක් තියා බෙහෙත් තෙල් ටිකක්වත් ගන්න සල්ලි නැති දෙන්න දෙමහල්ලො මුහුණට මුහුණ බලාගන්නව. ඒත් මේව රටට කියන්න බැහැ. ඒ නිසා ආයෙ අහනව අට පිරිකරක් කියක් විතර වෙයිද කියල. ර්පියල් දාහක් විතර වෙයි කියනව. එතකොට මේ දෙන්න රුපියල් දාහක්. කියල නැවත උච්චාරණය කරල බාරගන්නත් බැහැ. බාර අරගෙන දෙන්න විදිහකුත් නැහැ. ඒත් බාර නොගෙනත් බැහැ. ඔහොම දෝලනය වෙලා ආ එහෙනම් එකක් ලියන්නකො කියනව.
දැන් හවස් වෙලා දරුවො ආවම බොහොම වටින් ගොඩින් බයාදුව විස්තරේ කියනව. මෙහෙම දායක සබාවෙන් ආව මෙහෙමයි මෙහෙමයි කියල. එතකොට එකපාරට දරුවො අහන්නෙ ආහ් බාර ගත්තද ? බාර ගත්තද ? කන්න අදින්න දෙනව මදිවට රටේ ඒවත් බාරගන්නවද ? ඔය විදිහට දරුවො බැනල යනව. අර අට පිරිකර අම්මාගෙ කනේ කරාබුව විකුණල හරි ගන්නව. ඒත් ඒ වෙලාවෙ අම්මගෙ තාත්තගෙ හිතේ ඇවිලෙන ගින්න කවදාවත්ම නිවන්න බැහැ.
06 වයෝවෘද්ද වූ අම්මා තාත්තා නිවසේ හුඳකලා කර යෑම නිසා ඇතිවන දුක.
ඒක මෙහෙමයි. ඔන්න පන්සලේ පින්කමක් තියෙනව. එදා දවසෙ අම්මයි තාත්තයි උදේ ඉදන් ඕකට යන්න ලැහැස්ති වෙනව. උදේ හය වෙද්දි අම්මා පරණ සුදු සාරිය අරන් ලැහැස්ති කරගන්නව. තාත්තා නැෂනල් එක අරන් ලැහැස්ති කරගන්නව. දවල් දොලහ වෙද්දි මල් එහෙම කඩාගන්නව. කළුවර වැටෙද්දි ගේට්ටුව ගාවට ගිහින් ඉවරයි ලැහැස්ති වෙලා. දරුවො එනකම් යන්න බැහැ. ඔන්න දරුවො ආව.
ආහ් කොහෙද මේ යන්නෙ.. පුතේ මේ අපි පන්සලේ පින්කමට යන්න කියල. දැන් යන්නෙ කොහොමද දෙන්න එක්ක. අපේ වාහනේ යන්න බැහැ. ඒකෙ වයිෆ් දරුවො ආවම හරි. මේ කළුවරේ ගිහින් එන්නෙ කොහොමද ? ඔයාලට ඔහොම හිතුණ තැන්වල ගිහින් මොනව හරි වුනාම අපිටම නේද කරදෙරේ. අනික අපි ඔක්කොම දැන් යනව. එතකොට ගෙදර බලාගන්නෙ කවුද. හොරු ඇවිත් මේව අතගාගෙන යයි. වත්තට ඌරෝ එයි. ඕවගේ එක එකේව කියද්දි අර දෙමාපියො හැරිල ආපහු එනව. එතකොට ඒ අවස්තාවෙදි දෙමාපියන්ගෙ පපුවෙ ඇවිලෙන ගින්න කවදාවත්ම නිවෙන්නෙ නැහැ.
07 වයෝවෘද්ද අම්මා තාත්තට දැන් මේ සලකන සැලකිල්ලට මිය ගිය වෙලාවකට දන් හැන්දක්වත් බෙදයිද කියා සිතී ඇතිවන ගින්න.
අද ගෙදර පිටිපස්සෙ කාමරේකට දාල තියන අම්මා තාත්තට හිතෙනව අපිට අද මෙහෙම නම් අපි මැරුණ දාකට මේ දරුවො අපි වෙනුවෙන් දන් හැන්දක්වත් බෙදයිද කියල. අන්න ඒ අවස්ථාවලදි දෙමාපියන්ගෙ හිතේ ඇවිලෙන ගින්න කවදාවත්ම නිවන්න බැහැ.
මේ තමයි අද දවසෙ මම බණ අහල ඉගෙන ගත්ත දහම් කරුණු ටික. මේ දේවල් මගේ අතින් නම් මගේ අම්මට සිද්ද වෙන්නෑ. ඒත් අද රටේ කොයිතරම් මේවගේ සිද්දි අහන්න ලැබෙනවද ? ඉතින් ඔබ ඔබේ ආදරණීය දෙමාපියන්ට මේ එක කරුණකින් හරි කටයුතු කරල තියෙනව නම් ඒක දිට්ඨ ධම්ම විපාකයක් විදිහට ඔබට විදවන්න ලැබෙනවාමයි. ඒ නිසා දහමෙහි හැසිරෙන්න. දහම විසින් ඔබව රකීවි.

Tuesday, July 1, 2014

Buddha Zee Tv


"සත්‍ය කතා - පුරුෂාර්ථ කතා
සුනෝ සුනෝ සිද්ධාර්ථ කතා...."

ඔබට මතකද මං කිවුව ලංකාවෙ දෙරණ නාලිකාවෙ යන ශ්‍රී ගෞතම සම්බුද්ධ කියන ඉන්දියානු ටෙලි නාටක මාලාව ඉතා ලස්සනයි කියා. අද කියන්න යන්නෙ එයිටත් වඩා ලස්සනයි එම ඉන්දියානු ටෙලි කතා මාලාව * බුද්ධා * කියා හින්දි බසින් Zee Tv එකේ විකාශනය වෙන්නක්. එය යූ බටෙන් ඔබට නැරඹිය හැකියි.

අපි ඉතිහාසයෙන් අසා දැනගත් දේට වඩා කොයිතරම් පරස්පරදැයි දැනෙන්නේ එය බලද්දී. පොඩි උදාහරණ ගත්තොත් අපි දන්නෙ දෙව්දත් යශෝදරා දේවියගෙ අයියා කියා. නමුත් මේ කතා මාලාවෙ දෙව්දත් අමිතෝදනගෙ පුක්‍රයා. සිදුහත්ගෙ අයියා කෙනෙක්. දෙව්දත්ගේ සිදුහත් පිලිබද වෛරය කුඩා කල සිටම පටන් ගන්නව. එකක් කපිලවස්තුවෙ සිංහාසනය සදහා. එය අමිතෝදනත් ඇගේ බිසවත් ඉතා සියුම් කපටි යුද්ධ කරමින් තම පුතුට ලබා දෙන්නට වෑයම් දරන්නක්. ඉතින් ඇත්තටම ප්‍රාෙයා්ගිකව බැලුවම එය හරියි කියා මට හිතෙනව.

යශෝධරාව සිදුහත්ට විවාහ කරදෙන්න තිරණය කරන වෙලාවෙත් දෙව්දත්ගෙ නම කියනව දෙව්දත්ගෙ අම්මා. එතනත් තරගයක්. ඒ තරගයෙන් සිදුහත් දිනනව ස්වයංවරයත් තියල. සිදුහත් ගිහිගෙයින් නික්ම ගියත් දෙව්දත් යශෝධරාව පිලිබද ආශාව අත් අරින්නෙ නැහැ. ඉතින් මේ දේවල් ඇත්තටම පිලිගන්න හැකියි. සංසාරෙ පුරා වෛරක්කාරයෙක් වුනත් එකපාරට යශෝධරාවගෙ සහෝදරයා වී පලිගන්නවට වඩා අමිතෝදනගෙ පුතා වී වෛරය මේ ආත්මයේ ඇතිවීම..

අනෙක් කරුණ අපි හැමදාම සිදුහත්ට බැන්නා ළමයෙක් එක්ක ළමය ඉපදුනු දාම ගැණිව දාල ගියා කියල. එය මොනතරම් බොළදද කියා හිතුණෙ මේ නාටකය බලන විට. එතනදි රාහුල ඉපදිලා යම් කාලයක් ගිය පසු නහී නගර් දැකල සිදුහත් කළකිරිමෙන් ඉදල යශෝධරාට මේ දේවල් කියනව. මගෙ ප්‍රශ්ණය දුක නැති කිරිමේ මාර්ගය හොයාගන්න එක කියල. යශෝදරාව කියනව ඔබ යන්න. ඔබේ ප්‍රශ්ණයට පිළිතර ලැබුණම ආපසු එන්න කියල. සිදුහතුත් ඒ දේම කියනව. මගේ ප්‍රශ්ණෙට පිලිතුර ලැබුණම මම ආපසු එනව කියල.

ඉතින් යශෝදරාවගෙ දෙමාපියන් ඇවිදින් සිදුහත්ට බනිනව. ගැනිවයි දරුවයි දාල ගියා කියල. නමුත් යශෝදරාව කියනව මට කියල ගියෙ මමයි යැවුවෙ කියල. සිදුහත්ව නිවැරදි කරනව. ඇත්තටම එය නොවේද නිවැරදි. මන්ද බුදුන් වහන්සේ කෙනෙක් වෙන්න සිටින අයෙක් අර ලෙස කටයුතු කරයිද..? අපේ සාහිත්‍යෙය අපි පලු යනකම් ගැනියි දරුවයි දාල ගියා කියල සිදුහත්ට බනිනව..

ඉතින් ඔය වගේ නොයෙකුත් දේ වල් පිලිගත හැකි එම කතා මාලාවෙ තියෙනව. මෙය කතාවක් කියල මම දන්නව. ඒත් අපි දන්න ඉගෙන ගෙන තියෙන කතාවට වඩා හාත් පිසින් වෙනස්. නිවැරදියි කියා මට හිතෙනව.

ඉතින් ඔබට මම මේ හින්දි කතාව බලන්න කියෙන්නෙ ඇයිද දන්නවද? ලංකාවෙ යන්නෙ අර කතාව කපල කොටල එඩිට් කරල විනාඩි විස්සක ප්‍රමාණයට. නමුත් හින්දි කතාව විනාඩි හතලිස් පහකට ආසන්නව යනව. ඉතින් ලංකාවට ගැලපෙන ලෙස ප්‍රති නිර්මාණය කරපු දේට වඩා අර කතාව බොහොම රසවත්. විදින්න හැකියි.

මම හිතනව ඉතාමත් සාර්ථකව නිර්මාණය කරල තියෙන ටෙලි කතා මාලාවක් කියල. ඔබත් නරඹා බලන්න.
 
 

පින්බර දිනයක් වේවා.

"අත්තානං චේ තථා කයිරා – යථ’ඤ්ඤමනුසාසති
සුදන්තෝ වත දම්මේථ – අත්තා හි කිර දුද්දමෝ

අනිත් උදවියට අනුශාසනා කරනවා වගේම තමාත් ඒ අනුශාසනාවට අනුකූලව ජීවිතය ගතකරන්ට ඕන. තමන් දමනය වෙලා තමයි අනුන්ව දමනය කරන්ට ඕනෙ. තමා දමනය කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.

(ජේතවනාරාමයේදී පධානිකතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴"

ඉතින් වැඩිපුරම අපි දකින්නෙ කී බෝඩ් එක පෙරල පෙරල බණ කියන බුකිගත සමාජයක්නෙ. හැබැයි ඒ බොහොම දෙනෙක් කියන තරම් බණ තම තමන්ට ආරෝපණය කරගෙන බලනවද කියල පේන්නෙ සැබෑ ජීවිත දැක්කම. කොහොම වුනත් බුදුන් සරණ ගිය අපිට පොසොන් පොහොය වැදගත්. ඒ සම්බුදු පියාණන් බුද්ධත්වය පත්වී සිව්වන සතිය ගත කරන සමයේ රුවන් ගෙයි වැඩ සිටිමින් සද්ධර්මය මෙනෙහ ිකරද්දී සවණක් ඝණ බුදුරැස් බුදු සිරුරින් පළමු වතාවට පිටවීමයි කියල අපි ශාසන ඉතිහාසයෙදි ඉගෙන ගෙන කියනව. දැන් ශාසන ඉතිහාසය මොකක්ද අහන්න එපා. දහම් පාසැලේ ධර්මාචාරයට , දහම් පාසැල් අවසාන විභාගයට මම ඉගෙන ගත්තා. එහෙම ඉගෙන ගත්තු අය දන්නව ඇති. ශාසන ඉතිහාසයෙ තිබුණ පලියට ඕව ඇත්තද කියල තරක කරන්න එපා මගෙත් එක්ක. මොකද මම මගේ දැක්මෙන් බුද්ධ දර්ශනය විශ්වාස කරනව ඇහ්.

ඉතින් ඊළගට තුන්වන ධර්ම සංගායනාවෙ ප්‍රථ්පලයක් විදිහට මිහිදු හිමි ඇතුළු පිරිස නැවත වරක් ලංකාවට බුදු දහම අරගෙන ආවෙ මේ කියන පොසොන් පොහොය දිනක කියලත් මං ඉගෙන ගෙන තියෙනව. ඒ බුද්ධ වර්ෂ 236 දි. වර්තමානෙ කෝකත් සැක කරල බලන උදවිය ඕව බොරු කියයි. ඒක එක එක පුද්ගලයගෙ දැකීම. මේ මං පිළිගන්න දේ. ඊට පෙර තෙවරක්ම බුදුන් වහන්සේ සිරිලකට වැඩියත් බුදු දහම ස්ථාපිත නොවෙන්න මොන මොනව හරි හේතු තියෙන්න ඇති.

බුදුන් ලංකාවට වැඩම කරල සුමන සමන් දෙවියන් වගේ දෙවි වරු සෝවාන් ථලයට පත් වුනත් ලක්දිව ප්‍රථම මහණ කිරිම සිද්ද වුනෙත් පොසොන් පොහොය දවසක කියල ශාසන ඉතිහාසයෙ තියෙනව. ඒ භණ්ඩුක උපාසකයව. මේවයේ හරි වැරදි කෙසේ වෙතත් මං කියන්නෙ මෙච්චරයි දැන් බස් වෑන පුරෝගෙන අතුරු සිඳුරු නැතිව අනුරාධපුරයට මිනිසුන් යනව ඇති මේ වෙද්දි. ඒ යන්නෙ හදවතේ සැබෑම පහන් හැගීමෙන් නම් එයයි වටින්නෙ. එහෙම නැතුව වැව් අයිනට වෙලා බයිට් හපමින් බෝතල් හිස් කරමින් බජව් දමමින් නිවාඩුව ගත කරන්න නම් ඔබ තව වරක් හිතන්න. ඔබව දකින තව කෙනෙක්ගෙ හදවතේ මොන වගේ හැගීමක් ඇතිවෙයිද කියල.

ඒ කොයි දේටත් වඩා මිහින්තලේ ගස් අතර දුව පනින රිලවු , දඩු ලේනුන්ගෙ සුන්දරත්වය මැද්දෙ ඔබ විවිධ දෑ දාගෙන යන පොලිතීන් මළු , ජලය ගෙනියන ප්ලාස්ටික් බෝතල් ඒ පරිසරය අවලස්සන කරයි කියල අනිවාර්යෙන්ම මතක තබාගන්න.

සොබා දහමෙ අසිරිය විඳින ගමන් ඇයට නොරිදවා එන්නට හදවතට කියාදෙන්න. අපෙන් පසු දරුවන්ටත් ඒ දේවල් දැක සතුටු සිත් උපදවාගන්නට ( ඕව ඉතින් විකුණල කාර් රේස් තියල , සී ප්ලෙන් බස්සල විනාශ කරනව කියන එක වෙනම කතාවක්.. ඒකට මේකට නොගැලපෙනවද මන්දා..ඒත් කමක් නැහැ. )

ඉතින් කාටත් මෙත් සිත් ඇති වෙන..පින්බර දිනයක් වේවා.
____________________________________
මේ පින්තුර එකතුවෙ තියෙන හැම පින්තූරයක්ම සයිබර් අවකාශයෙන් ලබාගත්ත දේවල් වැඩියෙන්ම තියෙන්නෙ. ඒත් මේ පින්තූරෙ මම ගත්තෙ ඇහ්. අනුරාධපුරයෙදි


අන්ත ජාතිවාදි, ආගම් වාදී ස්ථානයක සිට සත්‍ය දැකීමට වැර ගනිමින්.

මා අන්‍යයන් ගැන කිසිවක් නොකියමි. සියල්ලටම මා මාම උපමා කර ගනිමි. මා සිංහල බෞද්ධය. එය මට මහත් ආඩම්බරයකි. විදේශයක ජීවත් වුවත් කෙනෙක් මට වෙනත් ආගමක අත් පත්‍රිකාවක් දෙන්න තැත් කරන විටදීත් මා කියන්නෙ මම බෞද්ධ මට එපා. අපරාධයක් මම මේක කුණු කූඩෙට දාන නිසා කියාය. බලෙන් හෝ ඇඟේ ගැසුවොත් ඊට නුදුරෙම ඇති කසල බදුනට එය දමමි. ( සමහර විට එය ඔවුන් ඉදිරිපිටම තිබෙන්නට හැක. ) ඒ මගේ හැටිය. නොදන්නා උන් අන්න අරකිගෙ ලොකු කම යැයි කියයි. එහෙත් මා කිසිම විටක වෙනත් ආගමක මට අනවශ්‍ය දෙයක් කියවන්නට යන්නේ නැත. එය මගේ ප්‍රතිපත්තියයි.

පරම අවිහිංසාවාදය සිදුකළ නිගන්ඨනාථපුත්තයන්ගේ වදනටද ඇහුම් කන් දුන් අප බුදුන් වහන්සේ සංඝයා වෙනුවෙන් වස් කාලයක් ප්‍රකාශයට පත් කලේ එය ගරු කිරිමටය. දෙව්රම අසර ඌරන මරණ්නෙකු සිටියත් බුදුන් කිසිවක් කිසි දිනක නොකිවුවේය. අදට වඩා එදා විවිධ ආගම් තිබුණ යුගයක බුදුන් වහන්සේ පහළ විය. එහෙත් කිසිවෙකුට හානියක් නොකර උන් වහන්සේ ධර්ම ප්‍රචාරය කරගෙන ගියහ. දැන් මං මෙය කියනවිට යමෙක් කියයි දැන් එහෙම දහම් ප්‍රචාරය කරන්න බැහැ. එහෙම නිහඩව ඉන්න බැහැ කියල. ඒත් මම ඔබට කියමි හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා සේම සෑම හේතුවක් නිසාම එයින් යහපත් සහ අයහපත් දේ සිද්ද වන්නේය.

එදා අනගාරික ධර්මපාලතුමා සිංහලයිනි අවදිවව් රට ජාතිය බේරගනිව් කිවුවාය. එහෙත් උන් වහන්සේ කවදාවත් කැති පොරෝ ගනිව්..අනෙකා මරපියව් කොටපියව් කිවුවේ නැත. පානදුරා වාද වැනි දේ වලදි ගුණානන්ද හිමියන් වැනි උතුමන් චතුර ධර්ම කතිකත්වයෙන් සැබෑ දහම් කරුණෙන් මිසිදුටුවන් ජය ගත්තා මිස අනෙකාට හිරිහැර කරමින් ගියේ නැති. ( දැන් යමෙක් කියයි ආයෙමත් ඔය බම්බුව තියා ගනින් උඹ ගාවම කියා. එහෙත් සැබෑව නම් ලේ වැගිරිමකින් දිනු දෙයක් නැත. සහෝදරවරුන් 99 ක් මරා කාලිංඝ යුද්ධය කළ චණ්ඩාශොකයන්ද නිවී සැනසුනේ බුදු පුතෙක් දැකය. ඒ එතරම් නිවුනු දහමක් නිසා මෙන්ම නුවණැසින් දිනනා බැවින්ය. )

දර්ගා නගරය යනු මට දුර නගරයක් නොව. මා යෞවන සමාජ කරන කාලයේ දර්ගා නගරයේ මුස්ලිම් තරුණ තරුණියක් සමඟ ගැවසී ඇත. එවැනි ගෙවල් වලට ගොස් කා බී ඇත. ඔවුන්ද එසේය. අපි භක්ති ගී ගයයි. නොයෙක් දේ කරයි. ඉන් පසු මුස්ලිම් අය සමඟ මා ගැවසුනේ යොවුන් සේනාංකයේදිය. එයින් මුලතිව්වල නෂිමා අදත් මට මතකයට නැගෙයි. උඩ යට නිදා ගැනීමට ඇති අදන්වල ඇය මගෙ යට තිට්ටුවේ ඇදේය. රාත්‍රි විදුලි පහන් නිවු විට අප දෙදෙනාට පමණක් ඇසෙන්නට අප දෙදෙනා කතා කරගනියි. මට අමතක වු දේ ඇ කරයි. මටත් සමඟ නිතරම උදෑසන කිරි එක ගෙනෙයි. එදා යොවුන් සේනාංකයේදී ඩ්‍රිල් කරද්දී පර්දාව ගලවන්නට බෑ කියා ඇය දුක කියුවේ මටය. ඇගේ දහම අනුව ඈ නිවැරදිය. මට ඇයට පිඩාවක් කරන්නට බැරිය. එදා දුක සැප බෙදාගත් මුස්ලිම් අය මෙන්ම වසර දහතුනක් පාසලේ හැමදාම පන්තියේ එකම පේලියේ මගේ එක මිතුරියක් දෙමළය. ඈ මා සහ අනෙකා අතර කිසිදු විරසකයක් කවදාවත් නැත. අහම්බෙන් ඇය යලිත් මට මේ මුහුණු පොතේදිම හමුවිය.

මෙලොව ලේ වැගිරිමකින් දිනු දෙයක් නැත. උපන් දා සිට කුරිරු යුද්ධයක සාපය විද ඇති මා සාමය ආ පසු තවමත් ඒ බිමේ හරියට ජිවත් වි නැත. එහෙත් මට සතුටුය. දැන් මගේ උන් ගැන පපුවේ බයක් නැත. වෙනදාට බෝම්බයක් බ්ලාස්ට් වෙලා කියා කණ වැකුණ ගමන් හතර අතට කෝල් කර කර මා මුලින්ම සොයන්නේ මගේ උන් සුවෙන්ද කියාය. අද ඒ බිය නැත. එහෙත්,

මට කියන්නට ඇත්තේ මෙයයි. කී බෝඩ් එක උඩ නැගගෙන අකුරු කොට කොටා වස විස පුරවමින් මිනිස් හිත දුෂණය කරන්න එපා. යම් දෙයක් සිද්ද වුනා නම් එයට වගකිව යුත්තේ සිංහල ඔබයි. ( දැන් ආයෙමක් මට බනින්න මේකිත් සිංහලුන්ටම බනිනවා කියා ) ඔබ සිතුවාද ඔබ ජාතිය බේරගනින් කියා කැ ගැසුවට ඔබ මොනවද ඔබේ ජාතියට කලේ.. මම නම් තාම කිසිවක් කරල නැහැ. ඔබ විවාහක නම් දරුවෙක් දෙන්නෙක් හදාගෙන සුවෙන් සිටියි. ඔබ විවාහ වෙන වයස පසු වි ඇත්නම් එහෙත් ඔබ ජාතිය බේර ගනියව් කියා අනුන්ට කැ ගසයි. ඔබ කැ ගසද්දි අනෙකා ඔබව පරදමින් ඉදිරියට යයි. ඔබ කැ ගසන දේට අනෙකා ක්‍රියාවෙන් පිලිතුරු දෙයි. අද සුළු ජාතිය කියා ඔවුන් මේ සියල්ලෙන්ම අනුකම්පාව ලබා පැන යයි. දිනයි. ඒ ඔවුන්ගේ ඉලක්කයට හඹා යන තෙක්ය. ඔබ හැමදාමත් පුටුවක් උඩට වී ජාතිය බේරගනිව්.. කපපියව් කොටපියව් කිය කියා හිදියි.

මුලින්ම ඔබේ යුතුකම් ඉෂ්ඨ කරන්න. ඔබේ පන්සල රැකගන්න. ඔබේ දරු පවුල ලොකු කරගන්න. අනෙකා වැල වගේ පෝලිමක් හදනවට ඉර්ෂ්‍යා නොකර ඔබත් ඔබේ ජාතියට ඔබේ යුතුතම කරන්න. එසේ නැතුව පිටරටල ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් ඇති දේශපාලකයින්ගේ අත කොළුවක් වී රුකඩ සංදර්ශන රඟන්නට එපා. අද ජිවන බර අමතක වී මිනිස්සුන්ට බෞද්ධ මුස්ලිම් දේ කා වැදි ඇත. දැන් දේශපාලුවන් ඔවුන්ගේ සියල්ල නිදහසේ කරගෙන යයි. රැවටිලා ඇත්තේ ඔබමය.

ඉතින් මෙය කියවා මට බනින්න. එහෙත් ඔබේ යුතුකම් ඉටු කර අනෙකාට අත දික් කරන්න.

ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි ඉතින් ඉතා උතුම්


හිතන්න..කියවන්න..තේරුම් ගන්න

ලෝකය ගැන සිතන්නට ගිය විට අප අතරමං වේ. ඊටත් එහා අතරමංවන්නේ සිත ගැන සිතන්නට ගිය විටය. එකම අරමුණක බැද තබාගන්නට බැරි චංචල සිත විදුලි වේගයද පරයා යයි. මනසේ ක්‍රියාකාරිත්වය මෙන්න මෙපමණයි කියා කියන්නට බැරි වන තරමට අප අසරණවන අවස්ථා ඇත. එහෙත් වචනයත්, කයත් සංවර කරගත් සීලයක් තුල පිහිටා භාවනාවෙන් සිත දියුණුකරගත් ප්‍රාඥයින් අදත් මේ මිහිපිට ඇත. එහෙත් ඔවුන් මම මෙන්න මේ අවස්ථාවේ සිටින්නේ යැයි කිසිදු දිනක පවසන්නේ නැත.

අපායක් නැති දිව්‍යෙලා්කයක් නැති කිය කියා විද්‍යාවත් ආගමත් ඇබැටක තරම්වත් නොදැන පාරම්බාන සමාජයක මේ පොත් හතර යලිත් මා සිතන්නට යොමු කලේය. 2011 වසරේ ලංකාවෙන් එන විට ගෙනාවත් දෙවන වතාවට හිතට ආයෙ ආයෙත් දැනෙන ලෙස කියවා හමාර කලේ අදය.

දැයේ පිනට හෝ පහල වුන බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමිපාණන් සමඟ සාඛච්ඡා කරමින් කෙරන පළමු කොටස හදවතට තදින්ම දැනුනේය. එකම දවසක් හෝ දෑසින් දැකගන්නට බැරි දුක වැඩිපුර රිදවුයේය. භාවනාව විලාසිතාවක් වී ඇති යුගයක භාවනාව ගැය හොධ ලිපි කිහිපයක් දෙවන කොටස පොතෙහි ඇතුළත්වේ. ඒ රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමින් වහන්සේ හා සඛච්ඡා කොට රචිත ඒවාය.

ප්‍රේතයින් , භූතයින් පිළි නොගන්නා අයට එය පිලිගන්නට සිදුවන්නේ බලන්ගොඩ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ ප්‍රෙයා්ගිකව එය කර පෙන්වා කරුණු ඉදිරිපත්කර ඇති ලිපි කියවද්දිය.

බුදුන් වහන්සේ අත්තක කොළ ටිකක් අතට කඩාගෙන මා දේශනා කළ ධර්මය මෙන්න මෙපණක් තරම්ය කියා ඇත. එසේ නම් උන්වහන්සේ වදාළ නැති ධර්මය අර අතෙහි ඇති කොළ ප්‍රමාණය හැර ලොව ඇති අන් සියල්ලමය. කෙසේ වෙතත් ජිවිතයට කියවා බොහෝ දේ තේරුම් ගන්නට වටිනා පොත් කිහිපයක් යැයි මම කියමි.

කවුරුන් කිවත්, පොතක තිබුණත් , පරම්පරාවෙන් ආවත් පිළිගන්න එපා යැයි බුදුන් වහන්සේ කාලාම සූතුයේදි දේශණා කළ වදාලහ. ඉදින් ඔබත් කියවා ඔබේ හිතින් තේරුම් ගෙන අවබෝධ කරගනිත්වායි පතමි.


බුදුන් මුළු ලොවටමය


"ලෝක විෂය අචින්ත්‍යය. සත්ව විෂය අචින්ත්‍යය. සිතා නිම කළ නොහැක. කෙළවරක් දැකිය නොහැක. "
" ලෝකයේ කෙළවරක්,අග සහ මුල් , කොන් ඇති දේ මෙන්ම අග,මුල,කොන, සෙවිිය නොහැකි දේවල්ද ඇත. "

මිනිසා ගේ සහ ලෝකයේ ආරම්භය සර්වඥතා ඥානයෙන් අවබෝධ කැර ගත් බුදුරජාණන් වහන්සේ එය මිනිසාට අවබෝධ කරන්නට දේශනා කරන්නට ගියා නම් උන්වහන්සේගේත් ශ්‍රාවකයින්ගේත් ආයුෂ ( එය අසා නිම කිරිමට ) ප්‍රමාණවත් නොවනු ඇත.

ඒ නිසා ලෝකයේ සහ සත්වයින්ගේ අන්තය සෙවිම න්ශ්ඵල දෙයක් බව දේශනා කොට නොසෙවිය යුතු දේ ලෙස හැඳින් වූ සේක.

තමන් සෙවිය යුතුය. සතර රියනක් තරම් වු තමන්ගේ පංචස්කන්දය ( රූප, වේදනා, සඤ්ඤා,සංඛාර,විඤ්ඤාණ හෙවත් නාම රූප ) පිළිබඳව සොයන්න.

උපුටා ගැනීම - අපට නොපෙනෙන ලෝකය ,

ප.ලි -

ඡායාරුපය මා විසින් ගත් එකක් බැවින් එයට මගේ නම යොදාගන්නා ලදි. එහි ලියා ඇති පාඪය පොතෙන් උපුටා ගත්තකි.
 
 

Thursday, July 19, 2012

බෙදාගන්නට බැරිව

විහාරෙට අගුළු දා
බුදුන් හිරකරලා
උනුනුන් යුධ වදියි
බෙදාගන්නට බැරිදා.....